Life
දරුවන්ගේ ජීවිත අඩපණ කරවන මවුපියන්ගේ වැරැදි කියමන්
අපි ක්‍රියා කරන්නේ අපේ උඩු හිතේ ක්‍රියාකාරිත්වය මත. අපේ ක්‍රියාවන්, සිතිවිලි තීරණය වෙන්නේ උඩු හිතේ ක්‍රියාකාරිත්වය නිසා. ඒත් උඩු හිතට තොරතුරු සැපයෙන්නේ යටි හිතෙන්. කෙටියෙන්ම කිව්වොත් උඩු හිත ක්‍රියා කරන්නේ යටි හිතට ඕනෑ විදියට. පුද්ගලයෙක්ගේ පෞරුෂය, ආකල්ප වගේ දේවල් සකස් වෙන්නේ යටි හිතේ ගොඩනැඟෙන තොරතුරුවලින්.
දරුවෙක් තීන්ත පොඟවන කඩදාසියක් වගේ. දරුවෙක්ට හැඟෙන දැනෙන, දකින, අහන හැම දේම වගේ එයා ඉක්මනින් උරා ගන්නවා. හරි වේගයෙන් මනසේ තැන්පත් කරනවා. පුංචි කාලෙදි දරුවෙක්ට තර්ක කරලා වැරැද්ද නිවැරැද්ද තෝරගන්න හැකියාවක් නැහැ. ඒ නිසාම හොඳ හෝ නරක වේවා දරුවා විඳින දේ තෝරා ගැනීමකින් තොරවම යටි සිතේ තැන්පත් කර ගන්නවා. දරුවා නිතර නිතර අහන දකින දේවල් බොහෝ විට දරුවාගේ යටි හිතට බලපෑම් කරනවා. උදාහරණයක් විදියට දරුවෙක් යමක් කරන්න යද්දි වැඩිහිටියන් විසින් ඔහු වළක්වනවා නම් කරන්න හදන හැම වැඩකදීම "ඒක ඔයාට කරන්න බැහැ. උඩට නඟින්න එපා. ඔයා ඕක කරන්න එපා. දුවන්න එපා. වතුර අල්ලන්න එපා. ඔතැනට යන්න එපා. අර ළමයා එක්ක කතා කරන්න එපා.........." ආදී වශයෙන් දරුවා කරන හැම වැඩකටම තහංචි දානවා නම් ඒක දරුවාගේ මනසේ ඉතා තදබල ලෙස තැන්පත් වෙනවා.
එපා..... එපා..... බෑ..... බෑ.... කියලා තහංචි දාන දේවල් දරුවට කරන්න ඉඩ දෙන්න. වැඩිහිටියෝ බොහෝ වෙලාවට දරුවට තහංචි දාන්නේ දරුවා කරන වැඩවලට වැඩිහිටියන්ට අවධානය යොමු කරන්න තරම් වෙලාවක් නැති නිසා. දරුවා උඩකට නඟිද්දි දරුවා වැටෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් ඔබට පුළුවන් දරුවට වැටෙන්නේ නැතිව උඩට නඟින විදිය කියලා දෙන්න. ඒත් අද වැඩිහිටියෝ එහෙම කරන්නේ නැහැ. දරුවට අවධානය දෙන්න බැරි නිසාම දරුවා වළක්වනවා. සමහර විට පුංචි උඩකටවත් නඟින්න එපා කියල තහංචි දාලා වළක්වන දරුවෝ පසු කාලෙක ගහකටවත් නැඟගන්න බැරි අය බවට පත් වෙනවා. බයිසිකලයකින් වැටුණු දරුවෙක් එදා ඉඳන් බයිසිකල් පදින එක නතර කරන්න පුළුවන්. බයිසිකලයක් දැක්කත් බය වෙනවා.
දරුවා ආසම කරන යම් සිද්ධියක් එක්ක බරපතළ දෙයක් බද්ධවෙලා දරුවට දැනුණොත් ඒක දරුවට බරපතළ විදියට බලපෑම් ඇති කරන්න පුළුවන්. දරුවෝ සමනලුන්ට හරි කැමැතියි. සමනල්ලු පස්සේ දුවන්න ගිහින් දරුවෝ වැටිලා තුවාල වෙන්න පුළුවන්. දරුවන්ට දැනෙන වේදනාකාරී අත්දැකීම් නිසාම සමහර විට පසු කාලෙක දරුවෝ සමනලුන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. වරද්ද වරද්ද සින්දු කියන දරුවෙක්වත් වැරැදියට ඉංගී්රසි කතා කරන දරුවෙක්වත් අපහසුතාවට පත් කරන්න එපා. ඒ දේ දරුවා කරන්නේ කැමැත්තෙන් වෙන්න පුළුවන්. ඔබ දරුවා අපහසුතාවට පත් කරද්දි දරුවා කැමැත්තෙන් කරන දේවල වේදනාකාරී අත්දැකීමක් බවට පත් වෙනවා. දරුවගේ කැමැත්ත දරුවම ප්‍රතික්ෂේප කරනවා.
විභාගයකදී දරුවෙක්ට අඩු ලකුණු ලැබුණු විට ඔයාට වැඩ බැහැනේ. මේ තියෙන්නේ මෙච්චරයිනේ ඔයාට කරන්න පුළුවන්" ආදී වශයෙන් දරුවගේ ලකුණු උලුප්පා දක්වමින් ඔහුට ඉදිරියට යන්න තියෙන අවස්ථාව අහිමි කරන්න එපා. දරුවා ගත්තේ ලකුණු 50ක් නම් ඔහුව අගය කරන්න. වැඩි ලකුණු සංඛ්‍යාවක ඉලක්කයකට ඔහුට ශක්තියක් දෙන්න. ඉගෙනුම පස්සේ දරුවෝ දුවවන්න ගිහින් අම්මලා තාත්තලා දරුවන්ගේ හිත්වලට නිෂේධනාත්මක සිතිවිලි හුඟක් එකතු කරනවා.